26/01/2017
Boesemani Rainbow fish
තරමක් දුර්ලභ, වටිනාකමක් සහිත මත්ස්ය වර්ගයක් ලෙස සැලකිය හැකි Boesemani Rainbow fish, ආධුනිකයෙකුට වුවද ඇති කිරීමට පහසු, ඒ වගේම සුවිශේෂී අලංකාරවත් බවක් සහිත මත්ස්ය වර්ගයක්. ශරීරයේ ඉදිරිපස එක් පැහැයක් සහ පසුපස තවත් පැහැයක් වන පරිදි පිහිටන නිසා මොවුන්ට Bicolor rainbow fish යන නම ද ඇතැමුන් භාවිතා කරනවා. මෑත කාලයේ අපේ රට තුලත් මොවුන් ට ඉල්ලුමක් ඇති වුණු බව දැනගන්නට ලැබෙනවා. මේ ලිපිය කියවා අවසන් වන විට ඔබට මොවුන් පිලිබඳ හොඳ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.
හැඳින්වීම:
Melanotaenia boesemani යන විද්යාත්මක නමින් හැඳින්වෙන මෙම මසුන් බටහිර New Guinea ආශ්රිත ප්රදේශය නිජබිම කරගනී. ස්වභාවික පරිසරයෙන් අධික ලෙස අල්ලා අපනයනය කිරීම හේතුවෙන් අද වන විට වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මත්ස්ය වර්ගයක් ලෙස 'රතු දත්ත පොත' වාර්තා කරයි. මේ හේතුව නිසා මොවුන්ගේ නිජබිම් වලින් මොවුන් අපනයනය සඳහා එම රට වලින් යම් යම් තහංචි පනවා ඇති බව වාර්තා වෙන අතර, අපට මිලදීගැනීමට ලැබෙන්නේ බොහෝ වීට විසිතුරු මත්ස්ය කර්මාන්තයේ යෙදෙන්නන් විසින් පසු කාලීනව ටැංකි තුල අභිජනනය කර බිහි කරගත් මසුන් බවයි සැලකෙන්නේ.
වර්ණ හා දේහ ලක්ෂණ:
පිහියක හැඩය ගත් සිරුරක් සහිත මෙම මසුන් ගේ පිට මත වරල් දෙකක් පිහිටයි. (මෙහි ඇති ඡායාරූප තුලින් මෙය හොඳින් වටහාගන්න පුළුවන්). මොවුන්ගේ වර්ණ පිහිටීම බොහොම සුවිශේෂී වන අතර ශරීරයේ පසුපස භාගය කහ හෝ තැඹිලි පැහැයට හුරු වර්ණයකිනුත්, ඉදිරිපස භාගය දීප්තිමත් නිල් පැහැය හෝ දම් පැහැයට හුරු වර්ණයකිනුත් දැකගත හැකියි. මේ වර්ණ දෙක වෙන් වෙන ශරීරයේ මැද කොටසේ ලා කළු, කොළ පැහැති රේඛා කීපයක් දැකගත හැකියි. මොවුන්ගේ ගැහැණු සතුන් ගේ වර්ණ පිහිටීම ද මේ ආකාරයේම වන නමුත් තරමක් දීප්තියෙන් අඩු වර්ණයක් පෙන්නුම් කරන අතර තරමක් දුරට අළු (රිදී) පැහැයට හුරු බවක් පෙන්නුම් කෙරේ.
විශේෂයෙන් මෙම මසුන් ටැංකියකට දැමූ අලුත සහ වතුරේ පිරිසිදු බව අඩු අවස්ථා වල වර්ණයන් තරමක් අවපැහැ ස්වභාවයක් පෙන්නුම් කල හැකිය. නියම වර්ණයන් දැකගැනීමට නම් මත්ස්යයා සම්පූර්ණයෙන් පරිණත වයසට පැමිණීම සහ නිසි පෝෂණය සේම, පිරිසිදු ජලය ද වැදගත් ය. මෙම මසුන් උපරිම වශයෙන් අඟල් 4.5 පමණ දිගින් වර්ධනය වන අතර, ශරීර දිග අඟල් 2.5 පමණ වන විට වර්ණ රටාවන් දීප්තිමත් වීමට පටන්ගන්නා බව වාර්තා වේ. එසේම වසර 5-8 අතර ආයු කාලයක් මොවුන්ට හිමි වේ.
ගති ලක්ෂණ:
සාමකාමී මත්ස්ය වර්ගයක් වන මොවුන් සාමාන්යයෙන් ජෝඩු 2ක් හෝ ඊට වැඩි කණ්ඩායමක් වශයෙන් ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. වෙනත් සාමකාමී හා කඩිසර, එසේම සමාන ශරීර ප්රමාණයේ මත්ස්ය වර්ග සමඟ තැබීම වඩාත් සුදුසුය. තම කණ්ඩායමේ සාමාජිකයන්ව පන්නාගෙන යාම වැනි හැසිරීම් මොවුන් තුලින් දර්ශනය විය හැකි නමුත් බොහෝ විට එය කලහකාරී හැසිරීමක් නොව, සෙල්ලක්කාර හැසිරීමක් බව වටහාගත යුතුය. මසුන් අතර සමගිය පවත්වාගැනීම සඳහා මොවුන් කණ්ඩායමක් ඇතිකිරීමේ දී සෑම විටම පිරිමි මසුන් සංඛ්යාවට වඩා ගැහැණු සංඛ්යාව වැඩියෙන් යෙදීම සුදුසු බව සැලකේ. හොඳින් ටැංකිය පුරා පිහිනමින් ක්රියාශීලී ව ජීවත් වීමට කැමති මත්ස්ය වර්ගයකි. නමුත් ටැංකියේ හොඳින් ජලජ ශාක යොදා ආරක්ෂිත හැඟීමක් දැනෙන පරිදි ටැංකිය සකසා තැබීම වැදගත්ය. නැතහොත් මොවුන්ගේ වර්ණ අවපැහැ ස්වභාවයක් ගැනීමට ඉඩ ඇත.
අභිජනනය:
මෙම මසුන් අභිජනනය ස්වභාවිකව සිදු වුනේ ජලාශ වල අධික වර්ෂාපතනය සමඟ ජල මට්ටම ඉහල යන හා ගංවතුර තත්ත්ව ඇති වන කාල වලදී බවයි වාර්තා වෙන්නේ. එබැවින් ටැංකි තුලද ඊට සමාන පරිසර තත්වයක් ඇති කිරීමට හොඳින් ජලය ගලා යන ස්වභාවයක් ඇති වන පරිදි filter එකක් යෙදීම වැදගත් ය. (ජලයේ පිරිසිදු බව පවත්වාගැනීම සඳහා ද මෙය වැදගත් වනු ඇත.) එසේම මේ කාලයේ දී වැඩි වශයෙන් සජීවී ආහාර සහ ශාකමය ආහාර සමබර ව ලබා දීම වැදගත් ය. අභිජනනය සඳහා යොදාගන්නා මත්ස්ය යුවල මේ අන්දමින් සැකසූ විශේෂ ටැංකියකට දැමීමෙන් පසුව ටැංකියට හැකි තාක් හොඳින් ජලය ශාක යෙදිය යුතුය. ගැහැණු සතා ආකර්ෂණය කරගැනීම සඳහා පිරිමි මත්ස්යයාගේ වර්ණය වඩාත් දීප්තිමත් වීම වැනි ලක්ෂණ මෙම කාලයේ දී දැකගත හැක. මෙහිදී ගැහැණු සතා විසින් දමන බිත්තර ජලජ ශාක වල ඇලීම සිදු වන අතර දින කීපයක් ම මෙස නොකඩවා බ්ත්තර දමන බව වාර්තා වේ. නමුත් සෑම දිනකම බිත්තර දමා අවසානයේ එම බිත්තර සමඟ ජලජ පැලෑටි සියල්ල ඉවතට ගෙන වෙනත් පිරිසිදු ටැංකියකට දැමිය යුතු බව සඳහන් වේ. එසේ නොකළහොත් මව් පිය යුවල විසින්ම බිත්තර කාදැමීම සිදු විය හැක. දින කීපයකින් පසුව දිනකට දමන බිත්තර සංඛ්යාව ක්රමානුකූල ව අඩු වන විට මසුන් යුවල අභිජනන ටැංකියෙන් ඉවත් කල හැකිය.
වෙන් කරගත් බිත්තර සහිත පැලෑටි ඇතුලත් ටැංකිය පිරිසිදුව නඩත්තු කරගෙන ගිය විට සතියකින් පමණ පැටවුන් බිහි වන අතර එවිට infusoria වැනි ක්ෂුද්ර ආහාර ලබා දෙමින් පෝෂණය කල යුතුය. පැටවුන් මුල් මාස 2-3 දක්වා වර්ධනය කරවාගැනීම තරමක අභියෝගයක් බව වාර්තා වෙන අතර ඒ සඳහා ජලයේ පිරිසිදු බව නිසි ලෙස පවත්වාගෙන යාම අනිවාර්ය සාධකයක් ලෙස සඳහන් වේ.
ආහාර:
සර්වභක්ෂක මත්ස්ය වර්ගයක් වන Boesemani Rainbow මසුන් ස්වභාවික පරිසරයේ ජීවත් වීමේ දී මිරිදිය කූනිස්සන් වැනි කුඩා සතුන්, පනුවන්, ආදිය සේ ම, කුඩා ජලජ ශාක කොටස් ආදිය ආහාරයට ගනිමින් ජීවත් වේ. නමුත් ටැංකි තුල ජීවත් වීමේ දී ඕනෑම සැකසූ මත්ස්ය ආහාර වර්ගයක් ගැනීමට පුරුදු වන බැවින් ඇතිකිරීම පහසුය. නමුත් මොවුන්ගේ හොඳ නිරෝගී බවක් හා නිසි වර්ණ තීව්රතාවක් පවත්වාගැනීම සඳහා නිරතුරුව tubifex, blood worms වැනි freeze dried පනුවන් වර්ග සහ freeze dry ක්රමයට සැකසූ brine shrimp ආදියත් ලබා දීම සුදුසුය.
ටැංකි සැකසීම:
ටැංකියේ පිරිසිදු ජලය පවතින තාක් මොවුන් ඇති කිරීම එතරම් අපහසු නොවේ. ඒ සඳහා හොඳ මාදිලියක filter එකක් භාවිතා කිරීම බෙහෙවින් වැදගත් ය. මොවුන් ටැංකිය පුරා කඩිසර ව පිහිනීමට කැමැත්ත දක්වන මත්ස්ය වර්ගයක් බැවින් අවම වශයෙන් අඩි 2.5 - 3 පමණ දිග ටැංකියක් මොවුන්ට ලබා දිය හැකි නම් වඩාත් සුදුසු ය. ටැංකියේ ප්රමාණවත් තරම් ජලජ ශාක සහ ලී කොට ආදිය යොදා ස්වභාවික පරිසරයක් සැකසීම තුලින් මොවුන් බොහොම සතුටින් ජීවත් වනු දැකගත හැකිය. මෙම මසුන් ටැංකි වලින් ඉවතට පැනීමට ඉඩ ඇති බැවින් ටැංකියේ ඉහලින් ආවරණය කර තැබීම වැදගත් ය. සතියකට වරක් පමණ ටැංකියේ ජලයෙන් 25%ක් පමණ ඉවත් කර අලුත් ජලය පිරවිය හැකි නම් සුදුසු ය.
ඉතින් යාලුවනේ, මේ ලිපියෙන් Boesemani Rainbow Fish ගැන සියලුම විස්තර අංගසම්පූර්ණ ව ඔබට දැනගන්න ලැබෙන්නට ඇති