06/08/2026
දේශයට සේවය කළ නිහඬ වීරයන් වෙන්දේසි බෝඩ් එකට තල්ලු කිරීම සාධාරණද?
ලංකාවේ පොලීසියේ නිලධාරීන් ගැන අපි ඕන තරම් කතා කළත්, කිසිම පඩියක් හෝ උසස්වීමක් නොඉල්ලා තමන්ගේ මුළු ජීවිත කාලයම රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප කරන තවත් නිහඬ පිරිසක් පොලීසියේ ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා පොලිස් ස්නයිෆර් සුනඛ සේවයේ K9 කණ්ඩායම. බෝ ම්බයක් ළඟට මුලින්ම යන්නේ උන්, මත්ද්‍රව්‍ය ජාවාර ම්කාරයෝ සොයාගන්නේ උන්, ඒ වගේම අපරා ධකාරයන්ගගගේ අඩියක් පස්සේ කිලෝමීටර් ගණන් දුවන්නේත් උන්මයි. නමුත් ඒ දීර්ඝ සේවා කාලය අවසන් වී වයසට ගියාම උන්ට ලැබෙන තෑග්ග වෙන්දේසි බෝඩ් එකට තල්ලු වීම වීම ඇත්තටම හිතට මාරම බරක්.
සේවා කාලය අවසන් වූ පොලිස් සුනඛයන් වෙන්දේසි කිරීමට යන පුවතක් පසුගිය දවස්වල නැවතත් කතාබහට ලක් වුණා. සතෙක් වුණත් රට වෙනුවෙන් විශාල සේවයක් කරපු සතෙකුට ජීවිතයේ අවසාන කාලයේදී හිමිවිය යුත්තේ මෙවැනි ඉරණමක්ද යන්න අපි බැරෑරුම්ව සිතිය යුතුයි.
පොලිස් බල්ලෙක් කියන්නේ ගෙදරක දම්වැලකින් බැඳලා හදන සාමාන්‍ය සුරතල් සතෙක් නෙමෙයි. උන් කුඩා කාලයේ ඉඳන්ම පුහුණු කරන්නේ එක නිලධාරියෙක් යටතේ වන අතර, ඒ දෙන්නා අතර තියෙන්නේ රැකියාවකට එහා ගිය ලොකු ආත්මීය බැඳීමක්. එකපාරටම වයසට ගියා කියලා ඒ සතාව නාඳුනන කෙනෙකුට වෙන්දේසි කළාම, ඒ සතාට දැනෙන මානසික පීඩනය සහ පාළුව කොච්චරද කියන්න අපි තේරුම් ගන්න ඕනි. උන්ටත් හදවතක් තියෙනවා, ආදරේ සහ බය දැනෙනවා.
තමන්ගේ මුළු ජවයම රට වෙනුවෙන් වැය කරලා, ලෙඩ රෝග හැදෙන, වයසට යන කාලයේදී උන්ට ඕනි කරන්නේ පුරුදු ආදරය සහ රැකවරණය විතරයි. නාඳුනන පරිසරයකට ගියාම ඒ සත්තු මානසිකව ඇදන් වැටෙනවා. මීට වඩා කොච්චර සාධාරණද ඒ සතුන්ව අවුරුදු ගණනක් බලාගත්තු ඒ නිලධාරීන්ටම නිදහසේ හදාගන්න භාරදුන්නා නම්? නැත්නම් ඒ නිලධාරීන්ට ඒ සතුන්ව නඩත්තු කරන්න රජයෙන් යම් දීමනාවක් දුන්නා නම්?
දියුණු රටවල පොලිස් සුනඛයෙක් විශ්‍රාම ගියාම උන්ව වෙන්දේසි කරන්නේ නැහැ. බොහෝ විට උන්ව හදාගන්න දෙන්නේ ඒ සතා එක්ක සේවය කරපු නිලධාරියාටමයි, නැතහොත් උන් වෙනුවෙන්ම වෙන්වුණු විශේෂ විශ්‍රාමික සුනඛ නිවාස තියෙනවා. රටක ශිෂ්ටසම්පන්න බව මනින්නේ ඒ රටේ ඉන්න සතුන්ට සලකන විදිහෙන් කියලා කතාවක් තියෙනවා. රටට සේවය කරපු සතෙකුටවත් නිසි ගෞරවය දෙන්න අපිට බැරි නම්, අපි තවම ඉන්නේ කොතැනද?
ඒ නිසා වයස්ගත වූ පොලිස් සුනඛයන් වෙන්දේසි කිරීම වහාම නතර කර, ඒ සතුන්ව උන් එක්ක සිටි නිලධාරීන්ටම නිදහසේ හදාගැනීමට අවස්ථාව දිය යුතුයි. නැතහොත් විශ්‍රාමික පොලිස් සුනඛයන් වෙනුවෙන් රජයේ හෝ සංගම් මට්ටමින් සුබසාධන අරමුදලක් පිහිටුවිය යුතුයි. තමන්ගේ මුළු ජීවිතයම අපේ ආරක්ෂාව වෙනුවෙන් කැප කරපු ඒ නිහඬ වීරයන්ට ජීවිතයේ අවසන් කාලයේදී හරි ගෞරවනීය, ආදරණීය නිවහනක් උරුම විය යුතුමයි.
ඔබේ අදහස කුමක්ද?
උපුටාගැනීමකි
Original post was created by Dush