08/06/2022
සුවබර දිවියක් වෙත යලි ගමනක්
👫👫👫👫👫👫👫👫👫👫👫👫
👩👧👧පරිච්ඡේදය 4.
👉නොනිදන මානව සමාජයක්.
මිනිසා ජීවිත කාලයෙන් තුනෙන් එකක් වැය කරන්නේ නිදන්නට ය. සත්ත්ව ලෝකයේ අනෙක් බොහෝ සතුන් සැලකුව ද තත්ත්වය එසේම ය. සමහර සතුන් මිනිසාට වඩා දිගු නින්දක් ලබා ගනී. නෙමටෝදා වර්ගයේ පණුවාත් පලතුරු මැස්සාත් හොඳ නින්දක් ලබා ගන්නා බව සඳහන් කල යුතුය. එනම් ජීව විද්‍යාත්මකව බලන කල නින්ද අත්‍යවශ්‍ය දෙයකි. නින්ද ප්‍රමාණවත් නොවීම මගින් ජීව විද්‍යාත්මක පද්ධති අර්බුදයට යයි, සත්ත්වයා ගිලන් වෙයි, අකල් මරණයට පවා හේතු වෙයි. සැබවින්ම "කෙටි නින්ද මිනිසාගේ ආයුෂ කෙටි කරයි". නින්ද ප්‍රමාණවත් නොවීම, මිනිසා රෝග වලින් පීඩා විඳින තත්ත්වයට පත් කරන්නට සිදු කරන බලපෑම මිනිසා විසින් අමතක කර දමා ඇත. එබැවින් නින්දෙහි ඇති ජීව විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව මෙම පරිච්ඡේදය තුළින් කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි. මෙම සමාජ රටාව තුළ මිනිසාට හොඳ නින්දක් ලබා ගන්නට නොහැකි වන්නේ මන්ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. නින්ද ප්‍රමාණාත්මයෙන් හා ගුණාත්මයෙන් පිරිහීම නිසා වත්මන් මානවයා රෝගී වන්නේ කෙසේද යන්න විමසා බැලීමට ද බලාපොරොත්තු වෙමි.
☘️4.1 නින්දෙහි ඇති ජීව විද්‍යාත්මක වැදගත්කම.
මා මුලින් සඳහන් කළ පරිදි සත්ත්ව ලෝකයේ නොදියුණුම සතුන් පවා නින්දක් ලබා ගනී. පලතුරු මැස්සා මෙන්ම වටපණුවා වැනි ඉතා නොදියුණු ස්නායු පද්ධතියක් ඇති සතුන්ට පවා නින්ද අවශ්‍ය වෙයි. එහෙත් දිනයේ කුමන වේලාවට නිදාගන්නේ ද යන්න, නින්දෙහි රටාවන් හා දිනකට නිදාගන්නා වේලාව ආදිය සත්ත්වයන් අතර බෙහෙවින් වෙනස් වෙයි.
විශේෂයෙන්ම ආසන්න ප්‍රවේණික සමානකම් ඇති සතුන් අතරද දිනකට නිදාගන්නා කාලය වෙනස් ය. මිනිසාගේ නින්ද දළ වශයෙන් දිනකට පැය 8ක් පමණ විය යුතු අතර මිනිසාට ප්‍රවේණිකව සමීප බවක් ඇති වඳුරා (Owl Monkey) දිනකට පැය 17ක් පමණ නිදාගනී. එහෙත් මිනිසාට ප්‍රවේණිකව ඈත්, කුඩා සිලින්ඩරාකාර සිරුරක් ඇති "Eastern American Mole" නම් ක්ෂීරපායි සත්ත්වයා ද දිනකට පැය 8ක් පමණ නිදාගනී. එනම් එම සත්ත්වයා මිනිසාට සමාන වේලාවක නින්දක් දිනකට ලබා ගනී. මදුරු විශේෂයක් ආහාරයට ගන්නා විශාල දුඹුරු පැහැති වවුල් විශේෂයක් දිනකට පැය 20ක් පමණ නින්දෙහි පසුවන බව සොයාගෙන ඇත. එම වවුලන් අවදියෙන් සිටින්නේ ඔවුන් ආහාරයට ගන්නා මදුරුවන් සක්‍රීයව ඉන්නා පැය 4ක පමණ කාලයේ දී පමණකි.
මොළයේ විශාලත්වය හා දේහයේ විශාලත්වය අනුව නින්දේ කාලය තීරණය නොවේ. එනම් විශාලතම මොළයක් ඇති අලියකු දිනකට නිදාගනු ලබන්නේ දළ වශයෙන් පැය 3.6ක පමණ කාලයකි. විශේෂයෙන්ම වනාන්තර වල ජීවත් වන අලින්ගේ නින්ද පැය 2කට සීමාවන බව සොයාගෙන ඇත. එහෙත් කොටියා මෙන්ම සිංහයා ද ඉතා දිගු නින්දකට හිමිකම් කියති. එය දිනකට පැය 16ක් පමණ වෙයි.
සාමාන්‍යයෙන් සතුන් නින්දට වැටුණු පසුව මොළය පුර්ණ වශයෙන් නින්දට වැටෙයි. එහෙත් සමහර ක්ෂීරපායි සත්ත්වයන් නිදාගැනීමේ දී මොළයෙන් අර්ධයක් පමණක් නින්දට වැටෙන අතර අනෙක් අර්ධය අවදියෙන් පසුවේ. ඩොල්ෆින් සහ සමහර සීල් වර්ගයේ සත්ත්වයන්ගේ නින්ද මෙවැනි ආකාරයක් ගනී. සිරුරෙහි උණුසුම පවත්වා ගැනීමට මෙන්ම අවට පරිසරය පිලිබඳ අවධානයකින් පසුවන්නට මෙවැනි නින්දක් උපකාරී වන බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මේ ආකාරයෙන් මොළයේ එක පැත්තක් පමණක් නින්දට වැටෙන පක්ෂි විශේෂ ද හමු වේ.සමහර තල්මසුන් විශේෂයෙන්ම කුඩා පැටවුන් රැකබලාගන්නා අවධියේ දී සති ගණන් වුවද නොනිදා ඉන්නට සමත් බව පැවසේ.
පරිණාමීයව ගත් කල නින්ද යනු පැරණිතම මෙන්ම විශ්වීය ධර්මතාවකි. මිහිමත හටගත් මුල්ම ජීවීන් පවා නින්දකට හිමිකම් කියූ බවට සාක්ෂි ඇත. එහෙත් මා ඉහත දී විස්තර කළ පරිදි දිනකට නිදාගන්නා කාලය මෙන්ම නින්දෙහි රටාව ද සත්ත්ව විශේෂ අතර බෙහෙවින් වෙනස් වෙයි. මේ ආකාරයේ වෙනසකට හේතුව කුමක්ද යන්න සරලව පැහැදිලි කර ගත නොහැක. මේ සඳහා විවිධ සාධක එක්ව බලපාන බව විද්‍යාඥයන්ගේ මතයයි. ආහාර රටාව මේ සඳහා සෘජුව බලපායි. එනම් සත්ත්වයා මාංස භාක්ෂකයකු ද ශාක භාක්ෂකයකු ද යන්න අනුව නින්දෙහි ස්වභාවය හා දිනකට කොතරම් කාලයක් නිදාගන්නේ ද යන්න තීරණය වෙයි. වාසස්ථානයේ සිටින විලෝපිකයන් හා ගොදුරු වන සතුන් අනුපාතය හා සමාජ සංවිධානයේ ස්වභාවය ද මේ සඳහා බලපායි. මෙහිදී මතු කල යුතු විශේෂ කරුණ වන්නේ නින්දෙහි ස්වභාවයට මෙම කරුණු සංයුක්තව බලපාන බවයි. එනම් ස්නායු පද්ධතිය සංකීර්ණ වූ පමණින්ම සත්ත්වයකු වැඩිපුර කාලයක් නිදාගත යුතු නැත. විශාල මාංශ භක්ෂකයන් වෙනත් සතෙකුගේ ගොදුරක් බවට පත් වන්නට ඇති ඉඩකඩ ඉතා අඩුය. එබව්‍යින් ඔවුන්ට දිගු නින්දක සැපය විඳින්නට අවකාශය ඇත. එහෙත් විශාල මාංශ භාක්ෂකයකු වූ පමණින්ම දිගු නින්දකට හිමිකම් කියන්නේ නැත. ඉහතින් විස්තර කළ කරුණු අනුව ඒ බව පැහැදිලි වේ. එනම් නින්දෙහි ස්වභාවය තීරණය කරන්නට විවිධ සාධක කිහිපයක් එක්ව බලපාන අතර ඒවා මගින් ඇති කරන බලපෑමේ ස්වභාවය ද වෙනස් බව සැලකිය යුතුය.
මොළයේ එක අර්ධයකින් පමණක් නිදාගන්නා සතුන් පිළිබඳව මුලින් විස්තර කළෙමි. ඇත්තටම මිනිසාගේ නින්දෙහි ද එම ලක්ෂණ සමහර අවස්ථාවල දක්නට ලැබෙන බව මෑතකදී කළ පරීක්ෂණවලින් සොයාගෙන ඇත. ගැඹුරු නින්දෙහි (NREM) පසුවන විට මොළයේ තරංගවල විද්‍යුත් ස්වභාවය පිළිබඳව විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වා ඇත. යම් පුද්ගලයෙකු නිවසේ හෝ හුරු පුරුදු ස්ථානයක නිදාගන්නා විට මොළයේ වම් අර්ධයේ මෙන්ම දකුණු අර්ධයේ තරඟාවල විද්‍යුත් ස්වභාවය බොහෝ සෙයින් එක සමාන ය. එහෙත් එම පුද්ගලයා නුපුරුදු හෝටල් කාමරයක නිදාගන්නා විට මොළයේ තරංග වල විද්‍යුත් ස්වභාවය වෙනස් බව එම පරීක්ෂණවලින් ඔප්පු කර ඇත. එනම් මොළයේ එක අර්ධයක් ගැඹුරු නින්දෙහි පසු වනවිට අනෙක් අර්ධය අද නින්දේ පසු වෙයි. නින්දට පෙර උඩු සිතට පරිසරයේ යම් අවිනිශ්චිතතාවයක් දැනෙන්නට ඇත. නින්දට ගිය පසු එම අවිනිශ්චිතතාව මගින් මොළයේ එක අර්ධයක් අද නින්දෙහි තබමින් පරිසරය පිළිබඳ අවධානයකින් පසුවන්නට එම අර්ධයට ඉඩ ලබා දී ඇත. දින කිහිපයක් එම ස්ථානයේ නිදාගතහොත් ක්‍රමක්‍රමයෙන් මෙම ස්වභාවය පහව යැයි. මෙවැනි අත්දැකීම් ඔබටද ඇතුවාට සැක නැත. නුපුරුදු හෝටල් කාමරයක නිදාගත් පළමු දිනය සිහිපත් කරන්න. එහිදී බොහෝවිට ඔබට ගැඹුරු නින්දක් නොලැබෙන්නට ඇත. එහෙත් මෙම තත්ත්වය ඩොල්ෆින් මත්ස්‍යයන් හා සමහර කුරුල්ලන්ගේ දක්නට ලැබෙන මොළයේ එක් අර්ධයකින් පමණක් නින්දට යන තත්ත්වයට බෙහෙවින් දුරස් බව සඳහන් කළ යුතුය. මෙහි දී පැහැදිලි කරගත යුතු අනෙක් විශේෂ කරුණ නම් REM sleep අවධියේ ඇති විශේෂත්වයයි. එනම් මෙම අවධියේ මොළයේ අර්ධයන් දෙකම එකම තත්වයෙන් නින්දෙහි පසු වෙයි...
මුහුදු හරහා සැතපුම් දහස් ගණනක් එක දිගට පියාඹන සංචාරක පක්ෂීන් පිළිබඳව ඔබ අසා ඇත. මෙම පක්ෂීහු කාලගුණ විපර්යාසවලට ප්‍රතික්‍රියා දක්වමින් සාමාන්‍යයෙන් පියාඹන කාලසීමාවට වඩා බොහෝ දුරක් එක දිගට පියාඹන්නට හැකියාව ලබා ගනියි. මේ ආකාරයට දින ගණනක් න්‍ය්හ්ය්ද්ය් උඩින් පියාසර කරන විට දිගු නින්දක් ලබන්නට අවකාශය නොලැබේ. එහෙත් එම පක්ෂීන් මේ සඳහා මුහුණ දෙන්නට විශේෂ ක්‍රමවේදයක් සකස් කරගෙන ඇත. එනම් තත්පර කිහිපයක ඉතා කෙටි නින්දක් ලබා ගන්නට මෙම පක්ෂීන් හැඩගැසී ඇත. මෙම අධිබලැති කෙටි නින්ද මගින් ලැබෙන විවේකය වෙහෙසට පත් වූ සිරුර නැවත යථා තත්ත්වයට පත් කරන්නට සමත් වීම අරුමයක් නම් නොවේ ද? වර්තමාන මිනිසාට මෙවැනි නින්දක් ලබන්නට හැකි වූවා නම් තත්ත්වය කෙබඳු විය හැකි ද?
අවදියෙන් සිටින කාලයේ දී වෙහෙසට පත්වූ පද්ධතීන් නැවත ගොඩ නගන්නටත් ජීවිතයට තර්ජනයක් ඇති අවස්ථාවේදී එයින් ආරක්ෂා වන්නටත් හැකි වන අයුරින් මෙම සත්ත්වයන්ගේ නින්ද නිර්මාණය වී ඇත. එනම් පරිසරයේ බලපෑම හමුවේ වෙනස් වන ජීව විද්‍යාත්මක ඝටිකාවක් (Biological Clock) එම ජීවීන්ට ලැබී ඇත. එහෙත් මානව පරිණාමයේදී එවැනි, එනම් පරිසර බලපෑම මත නින්දෙහි අවශ්‍යතාව තීරණය වන ජීව විද්‍යාත්මක ඝටිකාවක් මානවයාට ලැබී නැත. වද රාජකාරි අධික දිනවල නිදි වැරීම මගින් මානවයාගේ සෞඛ්‍ය බරපතල ලෙස පිරිහෙයි. එහෙත් සංචාරක පක්ෂියෙකු සංචාරක කාලසීමාව තුළ නිදි වැරීම නිසා සෞඛ්‍ය පිරිහෙන්නේ නැත. සංචාරක පක්ෂීන්ට එය ලැබී ඇත්තේ ඔවුන් මිහිමත ආරක්ෂා වෙනවාද , නැතහොත් වඳවී යනවාද යන්න තීරණය කරන්නට තරම් එය වැදගත් හෙයිනි. එහෙත් වර්තමාන මානවයා නිදිවර්ජිතව ඉටුකරන බොහෝ දේ ජීව විද්‍යාත්මකව , එනම් මානවයාගේ පැවැත්ම තහවුරු කරන්නට එතරම් ඵලයක් ඇති ඒවා නොවන බව අවධාරණය කල යුතුය.
(උපුටාගැනීම - "සුවබර දිවියක් වෙත යලි ගමනක්." -
මිනිසාගේ සෞඛ්‍ය පරිහානියට ලක් වූ ආකාරය සහ එය නිවැරදි කරගන්නේ කෙසේද යන්න සාකච්ඡා කෙරෙන පර්යේෂණාත්මක ග්‍රන්ථය)